Saturday, April 16, 2011

එයාලටත් පණහයිලු!!!


                         අපටත් අවුරුද්දක් පිරෙන මේ කාලෙ අද කතා කරන්න හිතුවේ 50 වෙනි සංවත්සරය සමරන කට්ටියක් ගැන කියන්න. ඒ කවුරුවත් නෙවෙයි අපි හැමෝම දන්න හඳුනන Disney සමාගම. ඒගොල්ල 50ස් වෙනි සංවත්සරය සැමරුවෙ අවුරුදු වලින් නම් නෙවෙයි, එයාලගෙ 50ස් වෙනි සජීවිකරණ සැකිලි රූ චිත්‍රපටය නිර්මාණය කරලා. මේ වෙනකොට එයාලා ඉතාමත් අනර්ඝ සජීවිකරණ නිර්මාණ 50ක් මේ ලෝකෙට දායාද කරල දීල තියනවා. Disney cartoon වල කියුම් කෙරුම් ගැන ඉතින් වැල්වටාරම් කියන්න උවමනා නෑනේ. පොඩි කාලෙ ඉඳන්ම අපිත් හොඳට දන්න දෙයක්නෙ ඒක.




මේ තමයි නියම වැඩකාරයො


                                       මේ 50ස් වෙනි නිර්මාණය ගැන කියනවනම්.... ඇත්තටම කියන්න වචන නෑ. ඒ තරමටම ආකර්ෂණීයයි. ප්‍රේමය, ත්‍රාසය, කුතුහලය, කොමඩි මේ හැම දෙයකින්ම මේක අංග සම්පූර්ණ කතාවක්. සුරංගනා කතාවක්. අහ්!!! ගීත.... ඒ ගැන නොකියා කොහොමද.. මේතාක් නිකුත් වෙච්ච සෑම Disney නිර්මාණයකම සුවිශේෂ දෙයක් වුනේ ගීත.. මේ කතාවටත් ඒක එහෙමමයි. දැන් ඉතින් කාට කාටත් තෙරෙනවනෙ මොකක් ගැනද මේ කියාගෙන එන්නෙ කියලා. ඔව්! ඔව්! ඒ ගැන තමයි. අර දිග...ම් දිග කොණ්ඩයක් තියන කතාව. නමින්ම කිව්වොත් Rapunzel. අහ්! වැරදුනා. මුලදි මේ නම කිව්වත් පස්සෙ ඒ නම වෙනස් වුනා Tangled විදිහට, release කරද්දි. මොකද කිව්වොත් Rapunzel කියල දැම්මොත් ඕකට වහ වටෙන්නෙ කෙලි පොඩිත්තියො ටික විතරයිනෙ. කොලු ගැටව් ටිකත් අල්ලගන්න ඕන හන්දා Rapunzel කියන කෙලි නම අයින් කරලා Tangled කියන දෙපැත්තටම කැපෙන නම යොදාගත්තා. කොහොමද marketing strategies???




                                 කතාව නම් දැනටමත් වගේ හැමෝම බලල ඇති. දැකලා නැතිනම් අදම ගිහිල්ල නැරඹිය යුතු කතාවක්. මොකද කතාව කියන්න නම් නෙවී දැන් මේ හදන්නේ. ඩේව්වරු විදිහට අපට වැදගත් වෙන්නෙ කතාව හදපු හැටි මිසක කතාවෙ වුනේ මොකද්ද කියන එක නෙවීනෙ. කතාව හැදුවෙ කොහොමද කියල අහනකොට හැමෝම ඇහුවෙ මේ වගේ දිග...ම දිග කොණ්ඩයක් ආම්බන් කලේ කොහොමද කියලා. ඇත්තටම මේ කණ්ඩායම මේ සඳහා හිසකෙස් පිළිබඳ විශේ‍ෂඥවරියක පවා ගෙන්වුවා. කොම්පියුටරයක් ඇතුලෙ කොණ්ඩයක් ආම්බන් කරන එක එච්චර ලේසි පහසු කාරණාවක් නම් නෙවෙයි. හිසකෙස් වල තියන රිද්මය සහ දීප්තිය ඒ ආකාරයටම අරගෙන තියන හැටි දැක්කා නේද.



                                  ඊළඟ කාරණාව තමයි emotions. මේ කතාව CGI වුනත් අනුරූ සකස් කරන්න අනුගමය කරලා තියෙන්නෙ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වුණු තෙල් සායම් චිත්‍ර සහ පැන්සල් කටු සටහන්. ඒ හරහා තමයි මේතරම් සාර්ථක මුහුණු හැඟීම් ප්‍රකාශනයක් නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙ.




ඇත්තටම මේ සජීවිකරණ නිර්මාණය ආධුනික ඩේව්වරුන්ට නම් අධ්‍යාපනික තෝතැන්නක්. මොකද කියනවනම් 50ස් වෙනි නිර්මාණය කියන්නෙ එසේ මේසේ දෙයක් නෙවීනෙ. ඊට පෙර කරපු සෑම නිර්මාණයකින්ම හොඳ පළපුරුද්දක් ලබාගෙන ලස්සන වැඩක් කරල තියනවා කියලා කියන්න පුළුවන්. ඒ හන්දම තමයි මෙය නිර්මාණය කරපු ආකාරය පිළිබඳව, විශෙෂයෙන්ම චරිත පිළිබඳව පොතක් පවා මුද්‍රණය කරලා තියෙන්නෙ. කියෙව්වාට පාඩු නෑ. අපි ගිහින් එන්නම්....!!!

Art of Tangled [The Book]

අපිටත් දැන් අවුරුද්දයි...

ඒ දවස් වල අපි මෙහෙමයි...

මේ අලුත් අවුරුද්දේ අපේ අඩවියට අවුරුද්දකුත් ලැබුවා. පසුගිය අප්‍රේල් 14 වෙනිදා, අපේ අඩවියේ ආරම්භයේ  සිටන්  මේතාක් අපිත් එක්ක එකතු වෙලා හිට්ය සියලුම ඩේව්වරුන්ට අපගේ ස්තූතිය මේ මොහොතේ පිරිනමනවා. ඒ වගේම අපිත් එක්ක අත්වැල් බැඳන් ඉන්න ඩේව්වරු 17 දෙනාටත් අපගේ ස්තූතිය හිමිවෙනවා. ඒක අපිට ලොකු හයියක්.



අවුරුද්දක් තිස්සේ මේ අඩවිය පවත්වාගෙන යන්න ඉවහල් වුනේ ඔබ ලබාදුන් ප්‍රතිචාරය. ඒ ලබාදුන් සහයෝගය මේ ලබන අවුරුද්දේත් එලෙසම ලැබෙයි කියල අපි උදක්ම බලාපොරොත්තු වෙනවා.
තමන් දන්න දේවල් පුළුපුළුවන් හැටියට බෙදාහදා ගන්න එක අපේ යුතුකම. නැද්ද??? ඉතින් ඒකම තමයි අපිත් කරන්නේ. අපේ අඩවියට පය ගහපු කිසිම කෙනෙක් හිස් අතින් ගිහිල්ල නැහැයි කියලයි අපි හිතන්නේ. මේ පළවුනු හැම ලිපියකින්ම අපිත් ඩේව්වරුන්ගේ ලෝකයේ සෑහෙන දේවල් දැන කියාගත්ත(head fake කියන්නේ අන්න ඒකට තමයි).

නිර්මාණයක් ඔන්න ඔහේ මාරෙට බලනවට වඩා එහි ඇතුල් ලෝකය  බලන්න කැමති අයට අපේ අඩවියේ සෑම වෙලාවකම දොර ඇරල තියෙන්නේ. ඔබට තියෙන්නේ බය නැතුව ඇතුල් වෙන්න පමණයි. එසේනම් ආයෙත් දවසක හමුවෙමු.
එතෙක් ඔබට ජයග්‍රාහි අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් !!!


Sunday, April 10, 2011

හොලිවුඩයේ මැජික්කරු

නම කිව්වොත් ඉතින් වැඩි අඳුන්වා දීමක් ඕනා වෙන්නෙ නෑ. කවුද මේ, මොනාද කළේ කින්ද මන්ද මේ හැම දෙයක්ම අපිටත් වඩා හොඳින් දන්නව කියල මට විශ්වාසයි. ඒත් ඉතින් කොහොමද කළේ කියලා වැඩි දෙනෙක් හොයල බලන්නේ නෑනේ. ඒ ගැන හොයන්න තමයි අපි ඉන්නේ.

Steven Spielberg

අපි මීළඟට අඳුනගන්න යන සිනමාකරුවා.



වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට නිර්මාණකරුවෙක්. මොකද්ද මේ කියන විශිෂ්ටත්වය?? ඔහුගේ විශිෂ්ටත්වයේ පසුබිම ටිකක් හොයලා බලන එක වටිනවයි කියලා අපි හිතනවා

භය වෙන එකත් සෙල්ල්ලම් වැඩක් නෙවෙයි

කුඩා කාලයේ පටන්ම ඔහු ටිකක් බියසුළු පුද්ගලයෙක්. කළුවරට බය නැත්තෙ කවුද. බය ගැන ඔහු දක්වන්නේ මේ වගේ අදහසක්.

ඇත්තටම කිව්වොත් බය වෙන එකත් එක විදිහක වාසියක් වගේ නේද....

අත්දැකීම් හරි වටිනවා


අත්දැකීම් කියන දේ බොහොම වටිනවා. අපේ අනාගතය තීරණය කරන්නේ අත්දැකීම්. කුඩා අවදියේ පටන් ඔහුට ලැබුනු අත්දැකීම් බොහොමයක්ම ඔහුගේ නිර්මාණ වල සැබෑ තීරකයෙක් වුනා.


කොච්චර නෑ කිව්වත් සෑම නිර්මාණයක් පිටුපසම ගැබ් වෙලා තියෙන්නෙ, ප්‍රකාශනය වෙන්නේ කාගේ හරි අත්දැකීමක්. Spielbergගේ කතා ගත්තත් ඒක එහෙමම තමයි.


ආසාවන් ලුහුබැඳීම


 අසාවන් කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ජීවිතය වෙනස් කරන්න ආසාවකට පුළුවන්. ඔහුගේ ජීවිතය අමුතුම ලොවකට ගෙනියන්න මේ ආසාවට පුළුවන් වුනා.




කරන වැඩේ මොක වුනත් ලැදියාවෙන් ආසාවෙන් කරනවනම්, එයින් හදවතට ආමන්ත්‍රණය කරන්න පුලුවන් නම් ඒක අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඒක තමයි Spielbergගේ විශිෂ්ටත්වයේ රහස



අද ඔහු හැමෝම දන්න අඳුනන වැදගත් පුද්ගලයෙකු වුනත් කුඩා කල නම් අනෙක් හැම විශිෂ්ටයෙකු වගේම සමාජයීය වශයෙන් ලැජ්ජාසුළු කුළෑටි, නමුත් නිර්මාණශීලි කොලුගැටයෙක්. මොකද්ද මේ වෙනසට හේතු වුනේ.
ඇත්ත දැන ගන්න නම් අනිවාර්යෙන්ම මේ link එක ක්ලික් කරන්න ඔබ කැමති වේවී.

Wednesday, March 23, 2011

කතා කීමේ කලාව

පසු ගිය ලිපියෙන් අපි ශ්‍රේෂ්ඨ ලෝක සිනමාකරුවෙකුගෙ කතා බහකට එකතු වුනා මතක ඇතිනෙ. ඔහුගේ විශේෂත්වය විදිහට අපි දකින්නේ ඔහුගේ සෑම සිනමා නිර්මාණයක් පිටුපසම දැවන්ත පර්යේෂණාත්මක ගවේශණ චාරිකවක් එකතු වෙලා තිබ්බ එකයි.



ඉතින් ඔහුගේ කතා බහෙන් ලැබිච්ච පන්නරය හන්දම මේ ගවේෂණ ගැන පොඩ්ඩක් හොයා බලන්න අපට හිතුනා. ඉතිහාසය හාරවුස්සන්න කැමති කාට වුනත් මේ ගැන පොඩ්ඩක් හොයා බලන එක වටිනව. මේ සෑම ගවේෂණයක්ම ඔබට Discovery නාලිකාව ඔස්සේ දැක බලාගන්න පුළුවන්.


තේරෙනවා නේද Cameron කියන්නේ කොයිවගේ දැනුම් උල්පතක්ද කියලා.

ඉතින් Titanic චිත්‍රපටයේ සාර්ථකත්වයේ රහස මොකද්ද.
ඔහු එය නිර්මාණය කරන්න කලින් මුහුදුබත් වුනු සත්‍ය නෞකාවේ ඇණ මුරුච්චියේ ඉඳලම පර්යේෂණ කරලා තිබ්බා. ගොඩ ඉඳගෙන එහෙම නෙවී, අඩි දාස් ගානක් වතුර යටටම බැහලා. ඉතිහාසය කියන්නේ රස කර කර විඳින්න පුළුවන් පුදුමාකාර දෙයක්. Titanic නැවේ අංග සම්පූර්ණ ඉතිහාසය ගවේෂණය කරපු නිසා ඔහු කලේ එතනට හැමෝම කැමති රසවත් flavor එකක් යොදපු එකයි. Flavor එක මොකද්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ. ටයිටැනික් විතරක් නෙවේ, ඔහුගේ Avatar, Alien වගේ මේ හැම නිර්මාණයක්ම මේ වගේ දැවත්න දිගුකාලීන ගවේෂණ වල සාර්ථක ප්‍රතිඵල. ඇත්තටම James Cameron කියන්නේ හදාරන්න වටින පුද්ගලයෙක්.




කතාවකට වස්තු බීජයක් හොයන එක ලේසි පහසු වැඩක් නෙවේ. ඒකනෙ අපේ රටේ කතා කලාවෙ හැමදාම බොළඳ ඒකාකාරි කතා බිහිවෙන්නෙ. මේ බොළඳ එකාකාරි බව මොකද්ද කියලා කියන එක ඉතින් හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්නේ. සෑම නිර්මාණකරුවෙකු තුලම දක්ෂ ගවේෂකයෙක් සිටිය යුතුයි. ඒක තමයි අපි විශ්වාස කරන එකම දේ. ඒක තමා සාර්ථක නිර්මාණයක මුල. ඒක තමයි කතා කීමේ කලාවේ ආරම්භය.

 


ලිපිය අවසාන කරන්න කලින් ලංකාවේ පොළව පය ගහල ඉන්න සිනමා ගවේෂකයො ගැනත් සඳහන් නොකලොත් ඒක ලොකු අඩුපාඩුවක්නේ. මෙහෙම කිව්වට ඉතින් මතක් කරන්න පුළුවන් අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක්. හැමදාම බිහිවෙන අපේ කතා කලාවේ කාලෙකට හරි වෙනසක් ඇති කරනවට එතුමන්ලට බොහොමයක් පින්.

Thursday, March 17, 2011

පරිකල්පනය, කුතුහලය හා ආරම්භය...

කාලෙකට පස්සෙ ආවා වුනත් බොහොම වැදගත් මාතෘකාවක් අරගෙන තමයි ආවෙ. ඊටත් වඩා විශේෂ දෙයක් ඔබට අහන්න සලස්වලා සැබෑ ලෝකය තුල ඇති අලුත් ලොකයක් ගැන වෙනස් විදිහකට අලුත් විදිහට හිතන්න අත් වැලක් සපයන්න තමයි අද මූලික අරමුණ.


" පරිකල්පනය, කුතුහලය හා විශිෂ්ට නිර්මාණයක ආරම්භය... "


අපේ රටේ විශිෂ්ට නිර්මාණයක් හොයාගන්නව කියන එක අද කාලෙ හරියට ලාහෙට ගෙම්බො අල්ලනවා වගේ වැඩක් තමයි. ඔලුවෙ හොඳ වස්තු බීජයක් හට ගන්න නම් ඔය කිව්ව පරිකල්පන ශක්තියයි, කුතුහලයයි දෙකම ඕනා කරනවා. ඔව්වා ඉතින් අලුතින් ඔබ්බලා කරල ගන්න පුළුවන් දේවල් එහෙම නෙවී, ඇතුලතින්ම එන්න ඕනා. මෙව්වා උපතින්ම පිහිටපු කට්ටිය එක්ක ආස්ස‍රයට වැටුනොත් ඔබට මේ දේවල් වල තියන ශක්තිය හොඳට මැන ගන්න පුළුවන්. ඉතින් අපි ඒකට අවස්ථාවක් ලබා දෙන්නයි මේ හදන්නෙ. ආධුනිකයො විදිහට මේ වගේ වෙනස් විදිහට හිතන පතන විශිෂ්ට නිර්මාණකරුවො හොඳට දැන හඳුනගෙන ඉන්න ඕනනෙ. ඔන්න අපි පළමු පියවර තිබ්බා...

අපි අඳුන ගන්න පළමු නිර්මාණකරුවා

James Cameron: Before Avatar ... a curious boy




James Cameron කියන්නෙ අපි හැමෝම හොඳාකාරවම දන්න විශිෂ්ට නිර්මාණකරුවෙක්. අපිට මේ වටිනා කියන කතාබහ අහන්න ලැබුනේ TED සම්මන්ත්‍රණ අතරෙ තිබිලා. බොහොම වැදගත් කතාබහක් හන්දා හැමෝම අතරෙ බෙදාගන්න ඕනයි කියලා හිතුනා. මේ කතාව අහලා අපට ලැබුණු පන්නරයම ඔබටත් ලැබුනා නම් ඒක තමයි අද මාතෘකාවෙ අභිප්‍රාය වුනේ.


Wednesday, November 3, 2010

ප්‍රබන්ධයෙන් ඔබ්බට...


මතකද මේ දර්ශනය. Minority Report බලපු කෙනෙකුට නම් අමතක වෙන්න විදිහක් නෑ. මේ පරිගණක මුහුණත තමයි එහි අඩංගු වෙලා තිබ්බ ප්‍රධානතම සංකේතය. මොකද Minority Report කිව්ව ගමන් කාට කාටත් එක පාරට මතක් වෙන්නෙ Tom Cruise හා මේ මුහුණත හන්දා. එදා දෘෂ්‍ය ප්‍රයෝගයක් ලෙසින් එළි දැක්කට දැන් මේක යථාර්තයක් බවට පත් වෙලා. ඒ ආරංචිය අරගෙන තමයි අද අපි ආවෙ.

මේක යථාර්තයක් බවට පත් කිරීමෙ වැඩේට අත ගහලා තියෙන්නෙ Oblong Industries කියන ආයතනයයි. එයාලගෙ g-speak ව්‍යාපෘතිය මඟින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නෙ. g-speak කියන්නෙ අවකාශීය මෙහෙයුම් පද්ධතියක් ( spatial operating environment - SOE) වගේ දෙයක්. ඔන්න අපි නොකීවයි කියන්න එපා, මේක තමයි ඉස්සරහට GUI කලාවෙ අනාගතය වෙන්නෙ. ළඟදීම මූසිකයටයි, යතුරු පුවරුවටයි ටටා කියන්න සිද්ද වේවි.

අපි කිව්වෙ බොරුද!! කියමු බලන්න..

අපි මේ කතාවට Minority Report කතාව ගාව ගත්තෙ හේතුවක් ඇතිව. මොකද කියනවනං මේ චිත්‍රපටයට ව්ද්‍යා උපදේශකවරුන් විදිහට වැඩ කරලා තියෙන්නෙ මේ g-speak වලම කෙරුම්කාරයො තමයි. (ඉතින් මේක යථාර්තයක් වෙන එක අහන්නත් දෙයක් යෑ) මේ පද්ධතිය ප්‍රධාන වශයෙන් සැකසිලා තියෙන්නෙ DLP(Digital Light Processing) ප්‍රොජෙක්ටරයකින් සහ පරාවර්තක ගුලිකා සහිත සුවිශේෂ අත්මේස් යුගලයකින් සහ අතෙහි චලනයන් අල්ලා ගැනීමට අධෝරක්ත කැමරා කට්ටලයකින්. මේකට මේ අභිනය තාක්ෂණය (gesture technology) උදව් කරගන්න හන්දා තමයි 'g' ඒ කියන්නෙ 'gesture කතා කරයි' කියන නම දාලා තියෙන්නෙ.


ප්‍රබන්ධයක් යථාර්තයක් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ හන්දයි ප්‍රවෘත්ති විකාශ වලින් පවා මේකට විශාල තැනක් ලැබුනේ. ඉහළ දැක්වෙන්නෙ ඒවගේ අවස්ථා දෙකක්.


මේ කෙරුම්කාරයා තමයි John Underkoffler සහ ඔහුගේ කට්ට්ය. TED සම්මන්ත්‍රණයේදි ඔවුන් කරපු මේ ඉදිරිපත් කිරීම අනිවා බලන්නයි කියලා මේ ගැන උනන්දුවක් තියන හැමදෙනාටම කියනවා. GUI තාක්ෂණය එදා ඉඳන් මේ දක්වා ආපු හැටි ඔවුන් අපූරුවට පැහැදිලි කරලා දෙනවා.

Tuesday, November 2, 2010

AR හෙවත් Augmented Reality



ඔන්න ඉතින් පහුගිය් දවසක අපිත් ගියා UCSC එකේ තිබුන ifo++ ප්‍රදර්ශණය බලන්න.අපේ සහෝදර සහෝදරියො ගොඩාක් මහන්සි වෙලා හිත් ඇදගන්න නිර්මාණ රාශියක් හදල තිබුනා.ඇත්තටම ඒ ප්‍රදර්ශණය යමක් ඉගෙනගන්න කැමති අයට ඉතාමත් වැදගත් වුනා.මම මේ ලිපියෙන් කියන්න යන්නෙ ඒ ප්‍රදර්ශණය ගැන නම් නෙවේ.ඒකෙ තිබිච්ච අපෙත් හිත් ඇදී ගිය ප්‍රදර්ශණ  මාතෘකාවක් වන Augmented Reality ගැන.


  


ඔන්න ඉතින් පොඩි අදහසක් ගන්නත් එක්ක මේ video එක බලමුකො.





එකේ තිබුනේ මොනවගේ දෙයක්ද කියල තෙරෙන්නෙ නැතුව ඇති සමහර විට.ඒකෙ තිබුනෙ වෙබ් කැමරාවක් ඉදිරියේ විශේෂ ආකාරයේ පොතක් පෙරලගෙන යන අයුරුයි.ඒ කියන්නෙ අර තිබුන ත්‍රිමාණ වස්තු එකක්වත් පසුව කරපු සංස්කරණයකින් එකතු කරපුවා නෙවෙයි.කොහොමද එහෙම කලේ??? අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන එක තමයි අපි මේ ලිපියෙන් කරන්න බලපොරොත්තු වෙන්නෙ.


 







Augmented Reality  සංකල්පය කියන්නෙ කලින් තිබුන අතත්‍ය යථාර්තය (Virtual Reality) කියන සංකල්පයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයක්.Virtual Reality හි දී අපි කරන්නේ සැබෑ ලෝකය හා සමාන ආකාරයෙන් ත්‍රිමාණ වස්තු මැවීමට උත්සහ කිරීමයි නමුත් Augmented Reality හි දී අපි සැබෑ ලෝකයේ යම් තැනක නොතිබෙන වස්තු ත්‍රිමාණ ලෙස සැබෑ ලෝකයේ මැවීමට උත්සහ කරනු ලබනවා.ඉතින් මේ උත්සහය අද ඊයේ පහල වූ දෙයක් නම් නෙවෙයි.ක්‍රමක්‍රමයෙන් දියුණුවෙලා තමයි අද මේ තත්වයට පැමිණිලා තියෙන්නෙ.









AR Toolkit එක පාවිච්චි කරලා ඔයාලටත් ලේසියෙන්ම මේක අත්හදා බලන්න පුලුවන්.මෙහිදී අපිට අවශ්‍ය වෙනවා කැමරාවකට පහසුවෙන් හඳුනා ගත හැකි රටාවක්.එම රටාව හඳුනා ගෙන ඊට සාපේක්ෂව ත්‍රිමාණ වස්තුවක් දර්ශණය කිරීම තමයි මේ මඟින් කරනු ලබන්නේ.ඒ සඳහා පරිගණක වැඩසටහනක් යොදාගනු ලබනවා.මේ වැඩසටහනට කලින් එම රටාව ඇතුලත් කර තිබිය යුතුයි.එවිට පමණයි එම වැඩසටහනට අදාල ත්‍රිමාණ රූපය දර්ශණය කිරීමට හැකියාව ලැබෙන්නේ.

මෙන්න මේ වගේ එකක් තමයි රටාව විදියට යොදාගන්නෙ


ජංගම දුරකථන වල්ටත් AR...


අත්හදා බලන්න කැමති අයට...

 http://weblog.mrinalwadhwa.com/2009/04/13/augmenting-reality/


වැඩිදුර විස්තර සඳහා මේ video එකත් බලන්න.







ගේම් වලට කැමති අය අනිවාර්යෙන් මේ ටිකත් බලලම යන්න...






 

මෙන්න තවත් යෙදීම් ටිකක්...

http://www.bannerblog.com.au/news/2009/06/35_awesome_augmented_reality_examples.php


ඉතින් මේ වගේ දියුණු තාක්ෂණයත් එක්ක අනාගත ලෝකය කොච්චර වෙනස් වෙයිද කියල හිතාගන්න පුලුවන්ද? 

Friday, October 29, 2010

ඩයිනෝ

ඩයිනසෝරයො ගැන කතා කරනකොට ඕනම සිනමා ලෝලියෙකුට මතක් වෙන්නේ Steven Spielbergගෙ Jurrasic Park. ඒකෙ ජනප්‍රියතාවය කොච්චර වුනාද කියනවානම් Jurrasic Park කතාංග තුනක් දක්වාම නිර්මාණය වුනා. 4 වෙනි කතාවත් ළඟ ළඟම එනවයි කියලා ආරංචියක් නම් තියනවා. මේ ජනප්‍රියතාවයට ප්‍රධාන හේතුවක් වුනේ මේකෙ මුල්ම චිත්‍රපටය CGI(computer-generated imagery) කලාවෙ හා දෘෂ්‍ය ප්‍රයෝග කලාවෙ ප්‍රධාන සන්ධිස්ථානයක් වීමයි.



අපි අද කතා කරන්න යන්නෙ Jurrasic Park වල ප්‍රධානම නළුවො වෙච්ච ඩයිනසෝරයො නිර්මාණය වුනු හැටි ගැන තමයි.

Animatronics. මේ ප්‍රයෝගය තමයි ප්‍රධාන වශයෙන් ඒ සඳහා භාවිතා කළේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික රූකඩ. එහෙමත් නැතිනම් කාර්මීකරණය කළ ජීවීන්. රොබෝල කිව්වත් වරදක් නෑ. පොත්ත ඇත්ත හමක් වගේ වුනාට මදේ යකඩ ගොඩක් විතරයි. මේවගේ නළු නිළි කැලක් නිර්මාණය කරන එක එච්චර ලේසි පහසු වැඩක් නෙවී. ඉංජිනේරු ශිල්පය, ඉලෙක්ට්‍රොනික ශිල්පය ගැන සෑහෙන දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේවා ජීවමානව නිර්මාණය කරන එක තමයි ලොකුම දක්ෂකම. අනික් කාරණය කැමරාව ඉස්සරහ රංගනය කරන්න පුළුවන් තාලෙ වැඩකාරයෙක් වෙන්නත් ඕනා. රංගනය කිව්වෙ දුවන්න පනින්න එහෙම නෙවෙයි. ඔය පොඩ්ඩක් ඇඟ ඔලුව එහාට මෙහාට හරවන ඒවා, කට අරින එවා වගේ දේවල්.



Animatronics භාවිත කරමින් රූපගත් කළ දර්ශනයක්


Stop Motion සහ Go Motion. මේ තමයි භාවිත කරපු අනික් ප්‍රයෝග. මේවා පුංචි ඩයිනසෝර බෝනික්කො එක්ක කරන සෙල්ලම්. මේවට නම් ඉලෙක්ට්‍රොනික කෑලි නෑ. ඒත් නම්‍යශීලි වෙන අමුද්‍රව්‍ය වලින් තමයි මේ බෝනික්කො හදලා තියෙන්නෙ. කරන්න තියෙන්නෙ කැමරාව ඉස්සරහ මේ බොනික්කො රඟපාවන එක තමයි.

Go Motion රූපගත කිරීමක්

Jurrasic Park බලපු ගොඩ අය හිතන්නේ මේ ඩයිනසෝරයො ඔක්කොම මෘදුකාංග වලින් නිර්මාණය කරපු 3D models කියලා. නමුත් දැන් සමහරක් ඒවා එහෙම නෙවී කියල ඔයාලට තේරෙනවා ඇති. මෙතනින් බලා ගන්න පුළුවන් ඒ සමහරක් ඒවා මොනවද කියලා.




මේ චිත්‍රපටය ලෝක සිනමාවේ කොච්චර වැදගත් සලකුණක් වුනාද කියනවානම් ඒක හදපු හැටි ගැන වාර්තා වැඩසටහන් පවා නිර්මාණය වුනා. මෙහි ඉතුරු කොටස් ටිකත් බලන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වේවි.

Thursday, October 28, 2010

ඩිජිටල් matte painting

මේක මෙහෙම කිව්වට සිනමාවට අලුත් දෙයක් නෙවී. 1900 බර ගණන් ඉඳලම මේක පාවිච්චි උනා. හැබැයි 'ඩිජිටල්' කෑල්ල නැතුව.

සිනමාවේ Matte Painting නිර්මාණය කරන්න නමක් දිනාගත්තු ආයතනයක්
painting යන වචනයෙ කියවෙන විදිහටම මේකෙන් කරන්නෙ සිතුවම් කිරීමක් තමයි. හරියටම කියනවනම් පසුබිම් සිතුවම් කිරීමක්. ඕනම නිර්මාණයක සාර්ථකත්වයට, පසුතලය කියන්නෙ රංගනය වගේම මොහොම වැදගත් සාධකයක්. ඒකයි හැම සිනමා නිර්මාණයකම වගේ පසුතල වැඩ කටයුතු සඳහා වෙනම ඒකකයක් ඉන්නේ. අපිට හදාගන්න අමාරු, වියදම් වැඩි පසුබිම් පරිසරයක් මොකක් හරි තලයක සිතුවම් කරලා ඒක පසුබිමින් තියලා ජවනිකාව රූපගත කරන එක තමයි මේකෙන් කරන්නේ.

Photoshop Matte Painting

පරිගණක චිත්‍රණ කලාව ආවත් එක්කම වගේ ඒ කියන්නේ 80 දශකයේදි ඉඳන් වගේ මේ සිතුවම ඩිජිටල්කරණය වුනා. ඒ කියන්නෙ පසුබිම computer graphics(CG) මඟින් අඳින්න, composite කරන්න පටන් ගත්තා. එතකොට කරන්න තියෙන්නෙ අපි CG වලින් ඇඳ ගත්තු චිත්‍රය පසුබිමට ගලපලා අලෝලා හැඩ වැඩ කරන්න විතරයි.

Digital Matte Painting Artist

Matte painting කියන්නෙ වෙනම කලාවක්. මේ ශිල්පය ප්‍රගුණ කරලා වෘත්තීමය matte painter කෙනෙක් වෙන්නටත් පුළුවන්.අපි වර්ණහරණය කරලා, match moving කරලා, එළිය අඳුර ගලපලා පසුබිමක් දාන්න යනකොට මේ කලාව දැනගෙන තියන එක ගොඩක් ප්‍රයොජනවත් වෙනවා.

මෙතන්ට ගීයොත් බලාගන්න පුළුවන් ලොකයේ matte painting artistලගෙ නියම වැඩ කිඩ ටිකක්. එතන තියන Lord of the Rings චිත්‍රපටයෙ matte painting එක බලන්න අමතක කරන්න එපා.

VFX දහයයි !!!!!

ඔන්න අපි ජයග්‍රාහි VFX දස වෙනි කඩුල්ල පසු කරා. ඒ කියන්නෙ අපි දැනට ඩිජිටල් ඇස් බැන්ඳුම් ක්‍රම 10ක් ඔයගොල්ලන්න්ට අරගෙන ඇවිල්ල තියනවා. ඒ හැම එකක්ම දැනට VFX කර්මාන්තයේ නිතර භාවිතා වෙන සහ ජනප්‍රියම ඇස් බැන්ඳුම්.


vfx කලාකරුවන්ගේ (එකම)සමාජය


ඔයාලගෙ නිර්මාණයකට එහෙම VFX පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා නම් පූර්ව නිශ්පාදන අවස්ථාවෙ ඉඳලම හොඳ සැලසුමක් ඇතිව මේ කටයුත්ත කරන්න. ඒත් 80%කම වගේ වැඩ කරන්න තියෙන්නෙ පසු නිෂ්පාදන අවස්ථාවෙ.

VFX එහෙමත් නැතිනම් visual effects අද ඊයෙ ආපු දෙයක් නෙවී. 1900 බර ගණන් වල ඉඳලම ලෝක සිනමාවෙ පාවිච්චි වුනා විවිධ ක්‍රම වලින්. ඒක ඩිජිටල්කරණය වුනේ 80 දශකයේ පරිගණක චිත්‍රණ කලාව ප්‍රචලිත වුනායෙන් පස්සෙ කියන්න පුළුවන්.



සිය වසරක VFX සිනමාව

පුළුවන්ද අඳුන ගන්න මේකෙ අඩංගු වෙලා තියන සිනමා නිර්මාණ. පසු කාලිනව ආපු ගොඩක් දෙවල් නම් මෙතන නෑ. 80%ක්වත් අඳුනගන්න පුළුවන් නම් ඔබ සැබෑ හපනෙක්.

Tuesday, October 26, 2010

ටයි මාමා සහ අපේ කාටූන්

කාලෙකට පස්සෙ පුංචි විවේකයක් ලැබිලා ඔන්න රූප පෙට්ටිය ඉස්සරහ ඉඳගත්තා.නරක වෙලාව.ඒක පොඩි එවුන්ගෙ ටයිම් එකලු .මොනා කරන්නද ඔන්න ඔහේ වාඩි වෙලා බලන් හිටියා. පොඩි එකාලට පෙන්නන දේවල් දැක්කම ඇස් වලට කඳුලු එනවා අප්පා. උන්ට එවා පෙන්නලා 'සිය රට දේ සිරි සැප දේ' කියලා කොහොම උගන්නනවද මන්දා. කිසිම හැඩයක් නැති කාටූන් එකක්, කිසි ලජ්ජාවක් නැතිව පිටරට නාලිකාවකින් උස්සන් ඇවිල්ල, ඒකට සිංහල වචන ටිකක් කවලා, අපේ රටේ ළමයින්ට ලොක්කො වගේ පෙන්නන්වා . (අපි හැඩයක් නැහැයි කිව්වේ අඩු තාක්ෂණික පහසුකම් යටතේ එ තරමටම දෙයක් කරන්න පුළුවන් කට්ටිය ලංකාවෙත් ඉන්න හන්දා.) ඒවායෙන් පොඩි එකාලට උගන්නන්න හදන කතාව නම් හොඳයි, වරදක් කියන්න නෑ. ඒත් අපේ රටේ නිර්මාණකරුවන්ට මේ කරන අපහාසය කොහොම ඉවසන් ඉන්නද. කරන්න කවුරුත් නැත්තන් තව කමකුත් නෑ. ඒත් මේ ගෙඩි පිටින් ඉන්දැද්දී...


අපිත් පොඩි කාලෙ බොහොම ආසාවෙන් ටයි මාමාට පිංසිද්ද වෙන්න පිස්සු පූසා, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ කාටූන් බැලුවා. ටයි මාමා නොහිටින්න නැත්තන් අපි තාමත් ගෙඩි පිටින්ම ඉංගිරිස් කාටූන් බලනවා. ඒ කාලෙ හැටියට ටයි මාමා කලේ අලුත් දෙයක්. අලුත් තාක්ෂණයක් ලංකාවට හඳුන්වලා දුන්නා හඬ කැවීම කියලා. ඒ විතරක් නෙවී ඒකට සීමාවක් ඇතිව විධිමත් පාලනයකුත් ගෙනිච්චා. දැන් කාලෙ වගේ හැම මඟුලටම සිංහල කවන්න ගියේ නෑ. හිතන්න ඒ කාලෙ පිස්සුවෙන් වගේ බලපු 'රොබින් හුඩ්' හඬකවලා තිබ්බා නම්..

ටයි මාමා සමඟ ඔෂීන්

ටයි මාමා හඬ කැවීම හඳුන්වලා දීල දැන් අවුරුදු කීයක් ගත වෙලාද. ඒත් තාමත් අපේ රූපවාහිණී ඇත්තන්ට එතනින් ඉස්සරහට යන්න උවමනාවක් නෑ වගේ. අපිත් ඉතින් ටයි මාමා ආපහු රූපවාහිණියට එනකන් බලා ඉන්නවා අලුත් දෙයක් රූප පෙට්ටියෙන් දැක ගන්න. ඒත් ඒ දවස කවදා ඒවිද.........

දොස්තර හොඳහිත

පිස්සු පූසා



( ප. ලි : මේ වෙලාවෙ මතක් කරන්න ඕනා අපේම කියලා කාටූන් චිත්‍රපට කලාවක් ගොඩනගන්න මහන්සිවෙන ගිවන්ත අර්ථසාද් මහත්මයව. අපි කලින් දවසකත් ඒ ගැන පුංචි සඳහනක් කලා මතක ඇතිනෙ. ඒ වගේම මට මතක හැටියට 'අපේ කාටූන්' කියලා පර්යේෂනාත්මක මට්ටමේ වැඩසටහන් පෙළකුත් ගියා පීටර් කියලා හාදයෙකුත් එක්ක එක්තරා නාලිකාවක. අපේ දෙයක් කියලා ඉතින් කට ඇරලා කියන්න පුළුවන් සොච්චං ටික හරි කියන්න ඕනානෙ, ඒකයි මතක් කලේ )

Monday, October 25, 2010

HD ගැන තොරතුරු බිඳක්



                                                                                                                                             





දැන් හැමතැනම කනට ඇහෙන වචනයක් තමයි මේ HD (High-Definition) කියන්නෙ.දැන් පරිගණක මොනිටර් පමණක් නෙවේ රූපවාහිනී පවා HD වෙලානෙ.කොටින්ම කියතොත් අලුතෙන් ආපු iPhone 4 එකේ HD video පටිගතකිරීමේ හැකියාව පවා තියෙනවා.එක නිසා අපි මේ ලිපියෙන් HD video ගැන විතරක් කතාකරන්නම්කො.ඇත්තටම HD video කියල කියන්නෙ සාමාන්‍ය resolution එකට වඩා වැඩි එහෙමත් නතිනම් standard-definition (SD) video වලටයි.සරල වශයෙන් මේ resolution වර්ග 2ක්  තියෙනවා.                          

  •   720p : 1,280×720 pixels 
  • 1080p : 1,920×1,080 pixels

අපිට විකිපීඩියා එකෙන් එම resolution පහසුවෙන් බලාගත හැකි ඡයාරූපයක් ලබාගැනීමට හැකිවුනා.


 


  පහත වගුවෙන් දැක්වෙන්නේ ඒ පිලිබඳ තවත් විස්තරයි.




ඇත්තටම HD ගැන තාක්ෂණික වශයෙන් නම් වැඩි විස්තරයක් නැහැ.Resolution ගැන තමයි ඉතින් කියන්න තියෙන්නෙ.වැඩිපුරම තියෙන්නෙ ඒවගෙ යෙදීම් තමා.ඒ ගැන පස්සෙ ලිපියකින් කියන්නම්. මෙන්න මේ තැන් වලින් ඔයගොල්ලන්ට වැඩිපුර විස්තර හොයාගන්න පුලුවන්.



DirectX සහ OpenGL



 ඔන්න අද අපි කතා කරන්න යන්නෙත් Graphic සම්බන්ධ දෙයක් ගැන තමයි.ඔයගොල්ලන්ට් පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ගොඩ්ක් වෙලාවට් මේ DirectX සහ OpenGL කියන වචන අහන්න දකින්න ලබිල ඇති.Game ගහන අය නම් ඉතින් අනිවාර්යයෙන් අහල තියෙන බව විස්වාසයි.එත් ඔය කවුරුහරි මේව මොනවද?මොකටද මේව තියෙන්නෙ?මොනවද මේවගෙන් කෙරෙන්නෙ කියල හොයල බලුවද?



 


අපි එහෙනම් DirectX වලින් පටන්ගමුකො.DirectX කියන්නෙ සරලවම කිව්වොත් Windows උඩ දුවන API ( Application Programming Interface) ගොනුවක්.මෙමඟින් multimedia වලට අදාල (විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා සහ රූපණ මාධ්‍ය වලට අදාල ) කාර්යය පාලනය කිරීම කරනු ලබනවා. Direct3D, DirectDraw, DirectMusic, DirectPlay, DirectSound යන එවා මේ API වලට උදාහරණ කීපයක් ලෙස දැක්විය හැකියි.ඔයාලට පේනව ඇති මේ හැම එකකම Direct කියන වචනෙ මුලට තියෙනව.ඉතින් ඔය Direct කියන වචනෙ මුලට දාල විචල්‍ය වෙන වච්නය වෙනුවට 'X' අකුරත් එකතු කරල ගොනුවෙ නමට DirectX කියල දාල තියෙනවා.මයික්‍රොසොෆ්ට් ආයතනය මඟින් නිකුත් කරල තියෙන අලුත්ම සංස්කරණය  තමයි DirectX 11 කියන්නෙ.








දැනට ක්‍රියාකාරී තත්වයේ තියෙන හැම මෙහෙයුම් පද්ධතියකම පාහේ DirectX සඳහා ප්‍රයෝජනවත් වන පුංචි මෘදුකාංගයක් තියෙනවා.නමින් DirectX Diagnostic Tool (dxdiag.exe) වෙන ඒක තියෙන්නෙ තමන්ගෙ වින්ඩොස් folder එකේ system32 කියන folder එකෙයි.උදාහරණයක් විදියට කිවුවොත්  "C:\Windows\System32\dxdiag.exe".හොයාගන්න අමාරුනම් වඩාත්ම ලේසි විදිය තමා run window එකේ dxdiag කියල ට්යිප් කරන එක.ඒකට ගිහින් ඔයාලගෙ  දෘඩාංග මෙහෙයුම් පද්ධතියෙ තියෙන DirectX එක්ක ගැලපෙනවද කියල සහ එවගෙ නොගැලපීම් තියෙනව නම් ගැටලු නිරාකරණය කරගන්නත් උදවු ගන්න පුලුවන්.





හරි එහෙනම් අපි දැන් OpenGL ගැන බලමු.OpenGL (Open Graphics Library) 1992 දී Silicon Graphics ආයතනය විසින් නිපදවන ලද්දක්.මෙයත් DirectX වගේම 2D හා 3D ග්‍රැෆික් සඳහා විශේෂිත වූ API එකක් වන අතර DirectX ට වඩා මෙහි විශේෂත්වය වන්නේ මෙය පරිගණක මෙහෙයුම් පද්ධතිය තුල පමණක් නොව වෙනත් මෙහෙයුම් පද්ධති තුලද භාවිතා කිරීමට ඇති හැකියාවයි.OpenGL  නිර්මාණය කර ඇත්තේ "C" පරිගණක භාෂාව උපයෝගී කරගෙන නිසා DirectX වලට වඩා OpenGL  වල දෘඩාංග සහයෝගය වැඩියි.දැනට OpenGL අලුත්ම සංස්කරණය වන්නේ OpenGL 4.1 සංස්කරණයි.


Gamersලට නම් මේ DirectX සහ OpenGL, System requirements වල ඕනතරම් හම්බුවෙලා ඇති.උදාහරණයක් විදියට ලඟදි නිකුත් උන Mafia 2 පරිගණක ක්‍රීඩාවේ අවම requirements ටික තමයි මේ.

  • OS: Windows XP/Vista/7
  • Processor: Intel Core 2 Duo @ 3.0 GHz / AMD Athlon 64 X2 3600+Memory: 1.5 Gb
  • Hard Drive: 8 Gb free
  • Video Memory: 512 Mb
  • Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 2600 
  • Sound Card: DirectX Compatible 
  • DirectX: 9.0c 
  • Keyboard
  • Mouse
  • DVD Rom Drive


මේ විස්තර ටික දැනට ඔයගොල්ලන්ට ප්‍රමාණවත් කියල හිතනවා.වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් වලට ගිහින් බලන්න.ආයෙ අලුත් ලිපියකින් හමුවෙමු.


http://www.microsoft.com/games/en-us/aboutgfw/pages/directx.aspx



Sunday, October 24, 2010

3D සහ අපේ ඇස්

තාක්ෂණය කියන දේත් එක්ක හෙනහුරා වැදිච්ච වැදගත් ශරීර අංගයක් තමයි අපේ රත්තරං ඇස් දෙක. ඉතින් තාක්ෂණය එක්ක ගණුදෙනු කරන ඇත්තො තම තමන්ගේ ඇස් දෙක ගැන බොහොම පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම ඩේව්ලා. මොකද එයාලා ඇස් දෙක වහගෙන මවපු හීන හැබැ කරගන්න ඇස් දෙක ඇරගෙන පැය ගානක් පරිගණකය ඉස්සරහ එල්ලිලා ඉන්න හන්දා. අපි කියන්න ආපු කාරණාව නම් ඒක නෙවී. ඔහොම ඉන්න කෙලින්ම කාරණාවට බහින්නම්.





පහුගිය කාලෙ ලොකු රැල්ලක් කරලියට ආවනේ ත්‍රිමාණ රූපවාහිණිය කියලා. Avatar ආවට පස්සෙ මම හිතන්නෙ ලංකාවේ කොයි කා අතරත් ඒ ගැන කතා බහට ලක් උනා. ඒත් එක්කම පොඩි හාහූවක් ගියා මේවා ඇස් වලට නම් හොඳ ආරංචියක් නෙවී කියලා. අපිත් ඉතින් හොයලා බැලුවා මේ ගැන. කාරණේ නම් ඇත්ත. මේ වගේ විශේෂ කණ්ණාඩියක් පැළඳගෙන ත්‍රිමාණත්වය රස විඳපු බොහෝ දෙනෙකුට ඊට පස්සෙ ඇසේ පීඩාවක්(eye strain), හිසේ කැක්කුමක් හටගෙන තියනවා. මොකද කියනවා නම් මේ ත්‍රිමාණත්වය මවාගන්න ඇස් දෙකයි, මොළයයි ලොකු වෙහෙසක් ගන්න හන්දා. අපි ඒක කොහොමද සිද්ද වෙන්නෙ කියලා කලින් ලිපියකින් කිව්වනේ.

R U ready 4 3D I strain

දැන් ඉතින් මේක කියෙව්වම බය වෙන්න එපා. සාලෙ ඉස්සරහ තියන රූප පෙට්ටිය බිහි වුණු කාලෙත් මෙහෙමම කිව්වනෙ. සීමාවන් යොදාගෙන නිවැරදි ආකාරයට පාවිච්චි කලොත් ඇසේ පීඩාව අවම කරගන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණය දියුණු වෙනවත් එක්කම මේ දේවල් වළක්වගන්නත් පුළුවන් වේවි. ඒක හන්දා ත්‍රිමාණ රූපවාහිණි යන්ත්‍රයක් මිලදී ගන්න තීරණය කරනවනම් හරි, කණ්ණාඩියක් දාගෙන 3D චිත්‍රපයටයක් බලන්න යන්න හිතුවා නම් හරි, 3D ක්‍රීඩාවක් ගහන්න කල්පනාවක් ආවා නම් හරි, මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක නුවණට හුරුයි. නැත්තන් ඉතින් රත්තරන් ඇස් දෙකට දෙයියන්ගෙම පිහිටයි!!!

"Avatar Headache" අඩු කරගන්න විදිහ

Saturday, October 23, 2010

GPU computing ගැන අහල තියෙනවද?



GPU Computing ගැන කතාකරන්න කලින් GPU එකක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති අය ඇතිනෙ.අන්න එ කට්ටිය අපි කලින් පලකරපු මේ ලිපිය කියවල ආවා නම් අදහසක් ගන්න පුලුවන් වේවි.
ඔයාල හැමෝම දන්නවා ඇතිනෙ දැනට එන CPU වල cores කීපයක් තියෙන බව.ඔය Dual core, Quad core  කියල එන්නෙ එවා තමයි.ඒ වගෙම කලින් ලිපි කියෙව්වා නම් ඔයලා දන්නව NVIDIA අලුත්ම GPU (Graphics Processing Unit) එකක පුංචි cores (CUDA cores) ගොඩක් තියෙනවා කියලා.උදාහරණයක් කිවුවොත් NVIDIA - GeForce GTX 480 GPU එකක CUDA (Compute Unified Device Architecture) cores 480 ක් තියෙනවා.



 ඉතින් GPU Computing කියන්නෙ මෙන්න මේ GPU සාමාන්‍ය ඉංජිනේරු සහ විද්‍යාත්මක පරිගණක කටයුතු සඳහා යොදාගැනීමයි.මෙහි අරමුණ වනුයේ CPU එක සහ GPU එක අන්තර් සහයෝගයෙන් යුතුව විවිධාකාර පරිගණක කටයුතු වල නිරතවීමේ හැකියාවක් ඇතිකිරීමයි.පරිගණක මෘදුකාංගයක අනුක්‍රමික කොටස CPU එක මඟින් කිරීමත් ගණනය අතින් කඩිනම් විය යුතු කොටස GPU එක මඟින් ත්වරණය කිරීමත් මෙහි ආකෘතියයි.GPGPU (General Purpose computing on the Graphics Processing Unit) කියල කියන්නෙත් මේ GPU Computing වලටම තමයි.




 ඇත්තටම කියන GPU Computing කියන  එක කරලියට ආවෙ මොන හේතුවක් නිසාද?හේතුව තමයි පහුගිය කාලය තිස්සෙ CPU වල ගණනය කිරීමේ හැකියාවට වඩා GPU වල ගණනය කිරීමේ හැකියාව වැඩිවීම. පහළ තියෙන ප්‍රස්තාරය දැක්කම GPU සහ CPU අතර පරතරය කොච්චරද කියලා ඔයාලට තෙරෙනවා ඇති. 



NVIDIA , ATI කියන්නෙ GPU හදන සමාගම්. Intel කියන්නෙ CPU හදන සමාගමක්


පහළ තියෙන්නෙ Intel Core i7 CPU එකක් සහ NVIDIA GTX280 GPU එකක් අතර සංසන්දනයක්.ප්‍රස්තාරයෙන් කියන්නෙ CPU එකට වඩා කී වාරයක් GPU එකේ හැකියාව වැඩිද කියල.එක තැනක 14.9 වාරයක් GPU එක වැඩියි කියල ඔයාලට පේනවා ඇති.  




ඉතින් ඔන්න ඔය හේතු නිසා ගැන ඉස්සරහට GPU Computing ගොඩක් කතා වේවි.මේ වගේ ලිපි වලින් ඔයගොල්ලන්ට ඉස්සරහට එන තාක්ෂණය ගැන අවබෝධයක් ලබා දෙන එකයි අපේ අරමුණ.වැඩිදුර විස්තර දැනගන්න ආස නම් පහළ තියෙන link වලට ගිහින් බලන්න.



Friday, October 22, 2010

මොකක්ද මේ Stereoscopy?

දිවි ච්ලන රූප ප්‍රක්ෂේපණ තාක්ෂණය එහෙමත් නැත්තම් Stereoscopy කියල කියන්නෙ අපි හොඳට දන්න 3D කියන එකමද?ඇත්තටම නැහැ.3D වලදි කරන්නෙ තෙවන මානය මවා පෙන්නීමක් විතරයි.නමුත් ඇත්ත 3D පෙන්නන්න නම් අපිට අඩුම වශයෙන් පින්තූර 2ක් වත් ඕන වෙනවා.එහෙම වෙන්නෙ අපිට ඇස් 2ක් පිහිටල තියෙන නිසා.









ත්‍රිමාණ පින්තූර පෙන්නන්න පුලුවන් විදි කීපයක් තියෙනවා.ඒවා තමයි ද්විමාන යුගල විදියට ත්‍රිමාණ දර්ශකයක් ඔස්සේ හෝ පරිගණක තිරයක් ඔස්සේ නිරූපනය කිරීම.උන්නත රූප(anaglyph) බලන්න නම් ත්‍රිමාණ කණ්නාඩි වුවමනා වෙනවා.මෙම ත්‍රිමාණ කණ්නාඩි රතු-නිල් හෝ රතු-කොල පැහැයෙන් යුතු වෙනවා.








මෙන්න මේවගේ රූපයකට තමා උන්නත රූපයක් කියන්නෙ.පෙනවා නේද සාමාන්‍ය විදියට බලනකොට බොඳ වෙලා පේන හැටි?








 පහළ තියෙන්නෙ කියන Stereoscope කියන උපාංගයයි.එකෙන් පුලුවන් ද්විමාන යුගල පින්තූර ත්‍රිමාණවිදියට බලන්න.




Stereoscope


Stereoscope එකට දාන ද්විමාන යුගල ඡායාරූපයක්



ත්‍රිමාණ ඡායාරූප ගන්න පාවිච්චි කරන digital camera එකක්

 ඔන්න එහෙනම් ඔයගොල්ලන්ට Stereoscopy ගැන යම්තාක් දුරට  අවබෝධයක් එන්නැති කියල හිතනවා.ඔයගොල්ලන්ගෙ අදහස් දක්වනවා නම් අපි ගොඩාක් අගයකොට සලකනවා.තවත් ලිපියකින් හමුවෙමු.


Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com